test

Powered by Blogger.

26 January 2013

෴..මෙල්බනයේ විත්ති..෴ නවක වධය.


විවේකයෙන් ගත කල දින කීපය සිතාගන්නටත් නොහැකි වේගයකින් ගෙවී ගියේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම  අධ්‍යයන වාරය අරඹමිනි. එතෙක් සැහැල්ලුවෙන් ගෙවුණු දින චර්යාව හදිස්සියෙන්ම මෙන් කලබලකාරීත්වකින් පිරී ගියේය. අලුත් පොත් පත්, ඇඳුම් පැළදුම් පමණක් නොව,  පීථ පිහිටා ඇති ස්ථාන, අනෙකුත් අධ්‍යයන ක්‍රියා පටිපාටි අදී සියලු දෑහි තිබූ අලුත් බව නිසාම සිතෙහි තිබුනේ අමුතුම වූ නොසන්සුන්කාරිත්වයකි.
  පාඨමාලාවේ ප්‍රථම වසර බැවින් සතියේ   දින පහෙන් දින හතරකම උදැසන 8.30 සිට සවස 5.00 දක්වා දේශන පැවැත්වේ. දුම්රිය පොලේ සිට විශ්ව විද්‍යාලය තෙක් සැලකිය යුතු දුරක් පයින් යාමට තිබු බැවින් උදැසන 6.30ට පමණ නිවසින් පිටත් වීමට සිදුවිය. දුම්රිය පොලේ වෙනදා දක්නට නොතිබූ අමුතු කලබලකාරීත්වයක් දක්නට ඇත. උදැසන 8.00 තෙක් වන කාල සිමාව තුල මිනිත්තු දහයෙන් දහයට දුම්රියක් ධාවනය වෙයි. නගරයේ වාහන නතර කිරීමට ඇති පහසුකම් අඩු බැවින් බොහෝ දෙනෙක් දුම්රිය පොලෙහි කාරය නතර කොට දුම්රියෙන් නගරයට යයි. ලංකාවේ දුම්රියක තරමට නොවුවද  උදැසන ධාවනය වන ඇතැම් දුම්රිය වල ඇති තදබදය දුටු විට සිහි වන්නේ පා පුවරුවේ එල්ලී පාසැල් ගිය පාසල් කාලයේ සුන්දර මතකයන්ය. එක් අතකින් සිතන කල විදුරු මුද්‍රා තැබූ, වසන ලද දොරටු වලින් යුතු මෙල්බනයේ දුම්රිය තුල ලංකාවේ දුම්රියක ගමන් කිරීමෙන් ලැබෙන සුන්දර අද්දැකීමෙන් දශමකදු නැත.
  අලුතින් විශ්ව විද්‍යාලයට පැමිණෙන්නන්ගේ පහසුව පිණිස සිටුවා තිබූ පුවරු වල උපකාරයෙන් දේශනා ශාලාව සොයා ගැනීම අපහසුවක් නොවීය. පිටුපසම අසුන්වල හිඳිනවා අත්තේ ඉගෙනීමට උනනදුවන් නැති කරදයකාරයින් වීමට පුළුවනැයි සිතූ මා මුල් පෙළ අසුනක් තෝරා හිඳ ගතිමි. දේශක වරයා අවුරුදු 45 ක පමණ පෙනුමකින් යුතු සුදු ජාතිකයෙකි.කොණ්ඩය උඩට පීරා ඩෙනිම් කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු තුල ලංකාවේ ගුරුවරයකු සතු ඝාම්භිරත්වය දක්නට නොවීය. නංගිගෙන් ලැබුණු විවිධ වර්ණ වල පෑන් වලින් පිරි පෑන් පෙට්ටියද, පෙර දින රාත්‍රියේ නිදි වර්ජිතව වෙන වෙනම නම් කොට පිළියෙළ කල පොත් වලින් පිරි මල්ලද රැගෙන පැමිණියද වාරයේ ප්‍රථම දිනය බැවින් පාඨමාලාව පැහැදිලි කිරීම හැරුණු කොට අමුතුවෙන් කියා කෙරුණු දෙයක් නොවීය.
         දේශනය අවසානයේ සිසුන් සෙමෙන් ශාලාවෙන් ඉවතට පැමිණියේය. එම අවස්ථාවේදීම අවසන් වූ තවත් දේශන කීපයක් හේතුවෙන් පිට වීමේ දොරටුව අසල අත්තේ මද කලබලකාරීත්වයකි. සෙමින් සෙමින් ඉවතට  පැමිණෙන මා හට දක්නට ලැබුනේ දේශනා ශාලාවෙන් ඉවත රැස් වී සිටින රතු පැහැති කමිස වලින් සැරසුණු සිසුන් සමුහයකි.රතු පැහැති කමිස වල සුදු අකුරින් "STUDENT UNION (ශිෂ්‍ය සංගමය)" ලෙස සටහන් කොට ඇත.  25ක පමණ කණ්ඩායමකින් යුතු වූ මොවුන් සිසුන් හට අමතමින් ඇතැම් සිසුන් ඉවතට ගනු පෙනේ. ඔවුන් අසලම වූ මේසයක් මත විවිධ වර්ණ වලින් මුද්‍රණය කරන ලද දැන්වීම් පත්‍ර මිටි කීපයක් ගොඩ ගසා ඇති අතර දුර වැඩි හෙයින් එහි සටහන් කොට අත්තේ කුමක්දැයි හඳුනා ගැනීමට නොහැක.
             සිතේ මඳ චකිතයකින්ද යුතුව සෙමෙන් ශාලාවෙන් ඉවතට පැමිණෙන මා වෙත ඔවුන්ගෙන් එකෙකු  වහා පැමිණියේය.
        Hi,, Are you a new student? ඔහු අසයි.
හිතේ චකිතය නිසාහෝ බොරු කීමට ඇති අකමැත්ත නිසාහෝ "යේස්" යනුවෙන් පිළිතුරු දුන් මම මඳක් නතර වීමි.
       We have a little information session for new students, would you like to join? ඔහු නැවතත් අසයි.

නැත යයි කීමට සිතුනද එයට හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිවක් සිතාගත නොහැක.අකමැත්තෙන් වුවද හිස වනා කැමැත්ත පළකළ  මා සෙමින් පිය නැගුවේ මේ වන විටත් රැස් කමින් බලා සිටි අනෙක් නවක සිසුන් සමුහය වෙතය. දැන් මාගේ සිතේ පිරි ඇත්තේ චකිතයකි. ලංකාවේ විශ්ව විද්‍යාල වල නවක වධය ගැන හොඳින් අසා පුරුදු මට ඊළගට සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිඳු අවබෝධයක් නොමැත. තවත් සිසුන් කීප දෙනෙකු එකතු වන තෙක් බලා සිටි ශිෂ්‍ය සංගම් සාමජිකයෝ ඔවුන්ගේ දේශනය ආරම්භ කළහ.
        තමන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් බව පවසා කතාව ආරම්භ කළ ඔවුහු විශ්ව විද්‍යාලය තුල ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරන්නට විය. ඔවුන්ට අනුව විශ්ව විද්‍යාලය තුල විවිධ  ක්‍රීඩා හා අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීමට ඔවුන් සහය වෙයි. තවද සන්නිවේදන අපහසුතා ඇති අන්තර්ජාතික ශිෂ්‍යයන් හට සහය දැක්වීමට ඔවුන්ගේ වෙනම ඒකකයක් ඇත. සිසුන්ගේ සාහිත්‍ය නිර්මාණ එලි දැක්වීමට  ඔවුන්ගේ මුලිකත්වයෙන් පළවන සඟරාවක්ද වෙයි. මේ අතර එක් අයෙකු එතෙක් මේසය මත වූ දැන්වීම් බෙදා දෙන්නට විය. ම හට ලැබුණු පත්‍රිකාවේ ඉහලින් විශාල අකුරින් "UNIVERSITY IDOL - BE THE NEXT STAR" ලෙස සටහන් කොට ඇත.
              මෙතෙක් සිතේ තිබු චකිතය පහව ගොස් තිබු බැවින් UNIVERSITY IDOL තරඟයට තරඟකරුවකු ලෙස සහභාගී වන්නටයි ජේෂ්ඨ සිසුවකුගෙන් කෙරුණු දෙවන ඉල්ලීම එක් වරම ප්‍රතික්ෂේප කර දැමුවෙමි.

22 January 2013

෴..මෙල්බනයේ විත්ති..෴ China Town


           
ජීවිතයේ ප්‍රථම වතාවට මෙල්බන් නගරයට රාත්‍රීයේ  පැමිණි මමත් මාගේ මිතුරාත් භූගත  මෙල්බන් සෙන්ට්‍රල් දුම්රිය පොලේ  හුදකලා අසුනක අසුන්ගෙන සිටියිසිටියෙමු. ඊළඟ දුම්රියට තවත් මිනිත්තු විස්සක් පමණ ඇති හෙයින් දුම්රිය වේදිකාවේ ඉතිරිව ඇත්තේ අප දෙදෙනාත් වේදිකාවේ එහා අන්තයේ අසුන්ගෙන සිටින සුදු ජාතකයන් දෙදෙනකුද පමණි. නොනවත්වා දිවෙන එස්කෑලේටරයේ ශබ්ධය හැරෙන්නට කිසිවක් නොඇසේ.

එතෙක් නිහඩවසිටි මිතුරා කටහඬ අවදි කළේය.
"මචෝ welcome to Melbourne city."

සෙමෙන් නැගිටගත් අපි දුම්රිය පොලෙන් ඉවතට යාමට සැරසුනෙමු. එස්කලේටරයෙන් ඉහලට ගිය අප අවතීර්ණ වුයේ භුගත  සාප්පු සංකීර්ණයකටයි. රාත්‍රී කාලය බැවින් බොහෝ කඩ සාප්පු දැනටමත් වසා ඇත. වීදුරුවෙන් තනා ගෝලාකාරව නිමවා ඇති වහලය අහස උසට විහිදී යයි. අඳුර වැටි  එකින් දෙක පායාගෙන එමින් තිබු තාරකා දුටු මට ක්ෂනිකයෙන්ම මතක් වුයේ කුඩා කාලයේදී ග්‍රහලෝකාගාරය බැලීමට ගිය චාරිකාවයි.
               මෙහි භූගතව ඉදිවුණු චිත්‍රපට ශාලාවක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් අදී වූ විවිධ දෑ දක්නට ලැබෙයි. පසෙකින් එල්ලා ඇති විශාල ඔරලෝසුවේ රාත්‍රී නමය සටහන් කළේය. මාර්ගයට පිවිසීමට තවත් එස්කලේටර දෙකකින් ඉහලට නැගිය යුතුය. උමං මාර්ගය හරහා එලියට පැමිණෙන්නන් අවතීර්ණ වන්නේ ස්වොන්ස්ටන් වීදියටයි.එහි සිට බලන්නකුට දුම්රිය පොලේ සේයාවක්වකදු සොයාගත නොහැක. මාර්ගය දෙපස  විදුලි බුබුළු වලින්  ආලෝකමත් කොට ඇත. එකක් පිටුපස එකක් පැමිණෙන ට්‍රැම් සීනු හඬ නඟමින් ඇදී යයි. මාර්ගයේ අනෙක් පසින් වික්ටෝරියා ජනපද පුස්තකාලය අහස වසාගෙන නැගී සිටි.
       මාර්ගය දිගේ පහලට ගිය අපි තවත් වීදී කීපයකින් හැරී ගමන් කරන්නට වීමු. ඇතැම් තැන් වල මාර්ගයෙන් ඇතුලට විහිදුනු, ගල් ඇතිරූ අඳුරු  අතුරු විදි දක්නට ලැබෙයි. පළල මීටරයක් පමණ වන මෙවායේ  ඇතැම් තැන්  වල ආලෝකයෙන් පිරි කුඩා අවන්හලය. එවැනි තැන පසු කර යන අප දුටුවී  සංගීත නාදයත් , ප්‍රනීත ආහාර පාන වල සුවන්දිනුත් නැහැවුණු  මේවා තුල මත්පැන් බොමින් සතුටින් කතා බහේ දී සිටින මිනිසුන්ගේ හඬයි.
http://www.theage.com.au/ffximage/2007/09/29/rgid_laneway_wideweb__470x268,0.jpg
මෙසේ අතුරු අතුරු විදි කීපයක් පසු කොට හිය අප අවතීර්ණ වූයේ රක්ත වර්ණයෙන් පිරි ගිය උත්සවත්ශ්‍රීයෙන් පිරි ඉතා ජනාකීර්ණ වීදියකටයි. චීන භාෂාවට හුරු භාෂාවන්ගෙන් උස්ව හඬ නගන සතුටින් පිරි මිනිසුන් වේගයෙන් අඩි තබමින් එහා මෙහා යයි.  මාර්ගය දිගට තැනින් තැන ඉහලට එසවුණු  යෝධ ගල් ආරුක්කු රතු පැහැති විදිලි බුබුළු වලින් ආලෝකමත් කොට ඇත. ඉහල සිට පහලට අලංකාර කැටයම් යොදා දකින්නන්ගේ සිත් ඇදගන්නනා ලෙස නිර්මාණය කොට ඇති මේවා මාර්ගය දිගටම දක්නට ලැබේ. මාර්ගය අද්දර  වූ ආලෝකයෙන් පිරි  කුඩා අවන්හල් චීන ජාතිකයන්ගෙන්  පිරි  පවතී. විදුලි බුබුළු යොදා ආලෝකමත් කල කඩදාසි ලන්තරුම් පසුබිමින් ඇදී යන සුළඟට සෙමින් පැද්දෙයි. ඈතින් උස්ව නැගෙන්නේ සංගීත නාදයකි. දකින්නකුට හැඟෙන්නේ හදිස්සියේම චීනයට ඇතුළු වුවාක් වැනි හැඟීමකි.
 එතෙක් නිහඬව සිටි මිතුරා නැවතත් කටහඬ අවදි කරයි.
"මේ තමයි china town."
http://www.exploreaustralia.net.au/images/content/rec/41/20673-1000x800.jpg

 China Town යනු මෙල්බනයේ පිහිටි චීන ජතිකයන්ගෙන් පිරි විදීයකි. චීන කෑම බිම, රෙදි පිලි ආදී ඕනෑම දෙයක් මෙහිද දක්නට අත. මෙල්බන් නගරය මධ්‍යයේ මෙවන් ස්ථානයක් පවතින්නේ කෙසේදැයි යන්න පවා පුදුම සහගතය.

තවත් මද වෙලාවක් විවිධ විදි ඔස්සේ ඇවිදි ගිය අපි අවසානයේ නිවසට පැමිණෙන විට මැදියම් රාත්‍රියද පසුවී තිබිණි.
              වෙහෙසින් පිරි දිනකට සමු දෙමින් මා නින්දට යාමට සැරසුනෙමි. බිත්තියේ ඔරලෝසුවේ රාත්‍රී 1.00 සටහන් වෙයි. සීතලෙන් ගැලවෙන්නට පොරවනය තුලට රිංගාගත් මා ජනේලයෙන් ඉවත බැලුවෙමි.හිස් අහසේ තැනින් තැන තාරකාවන් සෙමෙන්  බැබලෙයි . මේ වන විට තවමත් ලංකාවේ වෙලාව 8.30 පසුවී නොමැත. අම්මා කුස්සියේ උයනවා විය යුතුය. තාත්තා බොහෝ විට ඉස්තෝප්පුවට වී පොතක් කියවයි. නංගීගේ සිනාසෙන කට හඬින් නිවස පිරී තිබෙනවා ඇත.මා හැමදාම හිඳින්නට පුරුදුව සිටි පුටුව හිස්ව ඇතිවාට සැක නැත.  එය  සුන්දර වූ අතීතයකි... එහෙත් ඒ සුන්දර අතීතයට කිසිදා නැවත යන්නට නොලැබෙන බව මා දනිමි.

18 January 2013

෴මෙල්බනයේ විත්ති෴දුම්රිය ගමන.


             ගම්බද වටපිටාවක හැදී වැදුනු මා හට මෙල්බන් නගරයට පැමිණීමත්  සමග අලුතින් එක් වුනු පරිසරය මහත් අභියෝගයක් ලෙස  පෙනෙන්නට විය. ගමේදී නිතර දෙවේලේ මුණ ගැසුණු මිතුරන්, සතියකට දෙකකට වතාවක්වත් එක් වුනු නෑදෑයන් මෙන්ම උදේ අම්මාගෙන් ලැබෙන  තේ වීදුරුව, හවසට කුස්සිය මුල්ලේ වූ පෙට්ටගම මත හිඳ රාත්‍රී කෑම  පිළියෙළ කරන අම්මා  හා නංගී සමග  වූ විනෝදයෙන් පිරි කතා බහ ආදිය පිලිබඳ වූ  මතකයන්, ලංකාවෙන් වෙන් වීමෙන් හිතේ හටගත් වියෝගය තවත් උග්‍ර කරන්නට විය. සියල්ල මඳකට අමතක කරන අටියෙන්, තාමත් දැක නොතිබුණු මෙල්බන් නගරය දැක ගැනීමට සිතා දිනක් සන්ධ්‍යවෙදී  මා නිවසින් පිටවුයේ තවත් මිතුරෙක්ද සමගිනි.
          නිවසේ සිට දුම්රිය පොලට අත්තේ පා ගමනින් නම් මිනිත්තු 10 ක පමණ දුරකි. එක් පසකින් ක්‍රීඩාංගනයක් හා ඊට මුහුණලා තිබූ පැරණි පන්නයේ නිවාස සමුහයක් අතරින් මාර්ගය දිව යයි. සරත් සමයේ තවත් එක් සන්ධ්‍යාවක් වූ එදින, රතු පාටින් ගිනියම් වූ හිරු දුම්රිය පොලට ඔබ්බෙන්  බැස යමින් තිබුනේ මාර්ගය පසෙකින් වූ රූස්ස මේපල් ගස් වල එකින් එක ගිලිහෙමින් තිබූ පත්‍ර වලට අමුතු පැහැයක්ද එකතු කරමිනි.

          දුම්රිය පොළ මදක් පැරණි පෙනුමකින් හෙබි කුඩා වූ එකකි. මගීන්ගේ හැසිරීම සටහන් වන කැමරාවක් වහලයේ කෙළවරක සවි කොට ඇත. පිවිසුමෙහි අත්තේ කුඩා යන්ත්‍රයකි. ගමන ඇරඹීමට පෙර ගමන් බලපත්‍රය මෙය තුලට ඇතුලත් කොට ස්වයන්ක්‍රියව වෙලාව සටහන් කොට ගත යුතු අතර ගමන අවසානයේ පිටවිමේදීද එයම කල යුතුය. පිවිසුම පසුකොට මද දුරකින් අත්තේ රතු හා කොල පැහැති බොත්තම් දෙකකින් හෙබි බිත්තියටම සවි කෙරුණු කුඩා පෙට්ටියක් වැන්නකි. මෙහි කොළ බොත්තම තද කල විට ඊලඟට පැමිණෙන දුම්රියට ඇති කාලය ස්වයන්ක්‍රියව කියැවෙයි. හදිස්සියේම ක්‍රියාත්මක වූ වහලයේ ස්පීකරයෙන් පණිවිඩයක් විකාශය වන්නට විය.ඉන් කියවෙන්නේ හවස හයට නියමිත දුම්රිය මිනිත්තු තුනකින් ප්‍රමාද බවය.



http://www.abc.net.au/reslib/201005/r570490_3517673.jpg

"තුනක්ද තිහක්ද?" අසලින් වූ මිතුරාගෙන් මම ඇසීමි.
 "තුනක් බං" ඔහු පවසයි.

            පැවසූ අයුරින්ම මිනිත්තු තුනකට පසු දුම්රිය පැමිණෙයි. දුම්රියට ඇතුළු වීමට එහි දොරටුවේ ඇති බොත්තම  තද කල යුතුය. ස්වයන්ක්‍රියව ඇරෙන දොරටුව මඳ වෙලාවකින් ඉබේම වැසි යයි.
මිනිත්තු විස්සක පමණ දුම්රිය ගමනකින් පසු අපි ලඟා වුයේ Melbourne Central දුම්රිය පොලටයි. භූගත දුම්රිය පොලක් වන මෙය ජනාකීර්ණ මෙල්බන් නගරයේ මධ්‍යයේ පිහිටා ඇත.


http://railgallery.wongm.com/albums/city-loop/143_4330.jpg

දුම්රියෙන් බැස නුදුරින් වූ අසුනකින් අප අසුන් ගත්තේ පිටවුම මගීන්ගෙන් පිරි තිබුණු බැවිනි. මදක් ඈතට වන්නට කිළුටු ඇඳුම් වලින් සැරසුණු මිනිසෙකි. ඔහු මගීන් එකිනෙකා වෙත අත පාමින් යමක් ඉල්ලයි. නමුත් ඔහුට කිසිවෙකුගෙන් කිසිවක් ලැබෙන බවක් නම් නොපෙනේ.  අප  ලඟට පැමිණෙන ඔහු  " Excuse me, have you got two bucks?"
ඉබේම මෙන් මගේ අත පොකට්ටුවට යනවාත් සමගම මිතුරා පිළිතුරු දෙයි. "NO".

             මොහු දුටු සැනින් මට මතක් වූයේ ලංකාවේ දුම්රිය පොල වල සිටින බොහොමයක් වූ හිඟන්නන්ය. ඇතැමෙක්ට අනුව ලංකාවේ හිඟන්නන් සියලු දෙනා කපටීන්ය. තවත් ඇතැමෙක්ට අනුව  ඔවුන් හට සාමාන්‍ය මිනිසුන්ටත්  වඩා යහමින් මුදල් හදල් ඇත . මේ කෙසේ පැවසුවද තමන් ලඟට පැමිණෙන හිඟන මිනිසෙකුට බොහෝ දෙනෙකු  මුදල් පරිත්ත්‍යාග කරයි. ඒ පරිත්‍යාග කරන්නන්ද අමාරුවෙන් එදා වේල ගැටගහගන්නා දුප්පත් මිනිසුන් බව මම හොඳාකාරවම දනිමි....