test

Powered by Blogger.

15 June 2013

| mateship |


              විදේශකයක සිට මෙල්බනයට පැමිනෙන්නකු හට නිතර දැක පුරුදු පරිසරයෙන් බැහැර වීමත්, අලුතින් එක් වන වටපිටාවත් නිසා මුහුණ පාන්නට සිදුවන ගැටළු බොහෝමයකි. ශිත  සෘතුවේ  ධරුනුම භාගයේ මෙල්බන් නුවරට පැමිණි මා හට ඉවසා ගත නොහැකි දැඩි සීතලට වඩා වධ දුන් එක්  කාරණාවක් විය. එනම් කිසි ලෙසකින්වත් තේරුම් ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ගේ පුදුමාකාර  භාෂා විලාශයයි.
    අනෙකුත්  ජාතිකයනට වඩා වෙනස්  ස්වරූපයකින් වචන උඡ්චාරණය කරන ඕස්ට්‍රේලියානුවන් විශේෂ වචන කීපයක් නිරන්තරයෙන් භාවිතා කරයි. මින් වචනයක් යොදා දෙබස ආරම්භ කරන ඔවුන් එම වචනයම නැවත නැවත යොදමින් උස් ස්වරයෙන් කතා බහ කරන්නේ මන්ත්‍රයක් ජප කරන්නාක් මෙනි. මේවායේ අර්ථයන් ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් මා හට නොවූවද ඒ සෑම සියලු  වචනයකටම සමානව සිංහලෙන් ශබ්ධ වන යමක් මගේ ශබ්ධකෝෂයේද  තිබුණි. මින් මා සිත ගත් එක් වචනයක් වුයේ 'මයිට්' යන්නයි. මෙහි අර්ථය කෙසේ වෙතත් මෙල්බනයට පැමිණ නොබෝ කලකින්ම කතා කරන සෑම  වචන තුන හතරකට වරක් 'මයිට්' යයි දමන්නට මමද  පුරුදු වීමි.

යේස් මයිට්,
නෝ මයිට්,
හව් ආ යූ මයිට්,

විදේශිකයකුට නිතැතින්ම අමුතු හැඟීමක් ඇති කළද ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නෙකුට මෙය ඉතා සමාන්‍ය දෙයකි. අමුතු ආකාරයකින් ශබ්ධ වුවද, ඕස්ට්‍රේලියාවේ ආරම්භක කොලනි තුලින් බිහිවූ  මෙහි අර්ථය නම් අප සියලු දෙන භාවිතා කරන "mate (මිතුරා) " යන්නයි.
         ඕස්ට්‍රේලියානුවන්ගේ මෙම විකරරුපි භාෂා විලාශයට රසවත් ආරම්භයක් තිබේ. ඉතිහාස පොත් වලට අනුව ඔස්ට්‍ර්ලියාවේ මුල් පදිංචිකරුවන් වන්නේ බ්‍රිතාන්‍යයේ සිට පිටුවහල් කරනු ලැබූ සොරුන් සහ මංකොල්ල කරුවන් සමුහයකි. 19 වන සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍යයේ ආර්ථික තත්වය කඩා වැටීමත් ඒ හා නැගුනු අපරාධ රැල්ලත් නිසා පිරි ඉතිරි ගිය සිර ගෙවල් වලට අගනා පිලියමක් ලෙස බ්‍රිතාන්‍යයන් දුටුවේ දක්ෂිණාර්ධ ගෝලයේ ඇත කෙළවරක කර්කශ පරිසරයකින් හෙබි විශාල මුඩු බිමක් වූ ඔස්ට්‍රේලියාවයි.පොත පතට අනුව බ්‍රිතාන්‍යයේ සිට ඔස්ට්‍රේලියාවට ප්‍රවාහනය කෙරුණු සිරකරුවන්ගේ සංඛ්‍යාව 150 000 ඉක්මවායන අතර ඉන් තුනෙන් එකක් පමණ සොරුන් වූ අතර මංකොල්ල කරුවන්, මිනීමරුවන් ආදීන් මීට ඇතුලත් විය.
http://home.iprimus.com.au/foo7/wd.jpg

       අයලන්ත, ස්කොට්ලන්ත සහ එංගලන්ත ජතිකයන්ගේ එකිනෙකට පරස්පර භාෂා විලාශයන් නිතර කණ ගැටුණු, කර්කශ වික්ටෝරියාවේ හා නිව් සවුත් වේල්සයේ තැන තැන බිහිවූ මුල් සංක්‍රමණික කොළණි තුලින් අමුතුම භාෂාවක් උපත ලැබිය. ඒ ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසියයි.

      සොර මැර මංකොල්ල කරුවන්ගෙන් ආරම්භ වූ  මෙම වෙනස්  භාෂා විලාශය  ගැන මුල් යුගයේ ඕස්ට්‍රේලියානුවන් තුල ආඩම්බරයක් තිබු බවක් නම් නොපෙනේ. 70 දශකය වන තුරුම ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ABC ආයතනයේ සඳහා ප්‍රවෘත්ති කියවන්නන් බ්‍රිතාන්යෙයෙන් ගෙන්වනු ලැබුයේ ඒ නිසා විය යුතුය.෴


2 March 2013

෴.End of a semester.෴

              එය ග්‍රීෂ්ම ඍතුවේ  තවත් එක් සිකුරාදාවකි. සවස පහේ කණිසම  පසු වී බොහෝ වෙලාවක් ගතව තිබුනද තවමත් දැඩිව බබලන හිරු රශ්මින් නගරය නැහැවී ඇත. උස්ව නැගී සිටින ගොඩනැගිලි අතරින් විටින් විට වේගවත් වෙමින් හමා එන ඇන්ටාක්ටික් මුහුදු සුළඟ ශරීරයට ගෙන එන්නේ අමුතු සිසිලසකි. අධ්‍යන වාරයේ අවසාන දිනය වූ එදින  විභාග කටයුතු  අවසන් කොට විශ්ව විද්‍යාලයෙන් ඉවතට පැමිණි මාගේ සිත පිරී තිබුනේ  ඉදිරියට පැමිණෙන මාස තුනක නිවාඩු කාලය පිලිබඳ තෘප්තිජනක හැඟීම් ගොන්නකිනි. වරාය දෙසට දිවෙන Latrobe ව්දිය ඔස්සේ සෙමින්  පල්ලම් බසින මාත් මගේ මිතුරාත් පසු කරමින් ට්‍රෑම් රථ ඇදී යන්නේ සීනු හඬ නගමිනි.
            "මචන්, මාර බඩගිනී අද නම් හොඳ ප්ලේස් එකකින් හොඳට කන්න ඕනේ"
මිතුරාගේ යෝජනාවට එක හෙලා එකඟ වුවද අපේ රසට සරිලන ආපන ශාලාවක් නගරයේ නොමැති තරම්ය.
            "හොඳ චිකන් කරියකුයි රෝස් පන් ගෙඩි හය හතකුයි තිබ්බනම් මරු නේ!"
රෝස් පාන් මතකයට නැගෙන කළ කටට කෙළ උනයි. පැත්තක් යන්තමින් කරවූ, උණුසුම්, ලංකාවේ රෝස් පාන් ගෙඩියකට සම කල හැකි යමක් මෙල්බනයේ තරු පහේ හෝටලයකින් හෝ සොයාගත් හැකි වේද  යන්න සැක සහිතය.
            මෙල්බනයේ රෝස් පාන් හා මස් කරි සෙවීම කළුනික සෙවීම හා සමාන වුවද මහන්සි වී සොයනෙකුට ඊට යම් තරමකින් හෝ ආසන්න කෑම වේලක් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක්ද නොවේ. මෙල්බනයේ යම් කලක් ගත කරන්නෙකුට ඉබේම පාහේ නගරය ඉතා සමීප තැනක් බවට පත් වේ.  වරක් මිතුරෙකුගෙන් හොඳ බුරියානි වේලක් ලබා ගතහැකි තැනක් විමසූ කල ඔහු මා හට ආපන ශාලා පහළොවක පමණ නම් ලැයිස්තුවක් හා ඒවායේ මිල ගණන් මතකයෙන් කිවේය. ඔහු තරමටම නොවුවද යහමින් නගරය පුරා කරක් ගසා තිබු අප හට නගරයේ විවිධ ආපන ශාලා හා ඒවායේ අහර පාන සම්බන්ධයෙන් යම් වැටහීමක් තිබුණි. කෙසේ නමුදු සැබෑ රෝස් පාන් සොයා වීථි පුරා ඇවිදීමෙන් හෙම්බත් වූ අප අවසානයේ නතර වුයේ වරාය ආසන්නයට වන්නට පරණ තාලයේ ගොඩනැගිල්ලක් තුල පිහිටා තිබුණු සුපිරි වෙළඳ සලක් තුලය. පැත්තකට වන්නට තිබුණු කුඩා බේකරියක්, කූඩ වල දමා අසුරා තිබුණු එළවලු පලතුරු හා තවත් වියලි ආහාර පාන ආදිය හැරුණු කොට රාත්‍රී කෑමකට සරිලන වෙනත් යමක් එහි නොවීය.
         
               එය කෙසේ වුවද  පැය කාලක් ගත වන්නට මත්තෙන් අප දෙදෙනා වරාය ජැටියේ ගරාදියට බරදී ගැඹුරු සාකච්ඡාවකය. පසෙකින් කඩදාසි මල්ලක බහා ඇත්තේ පාන් ගෙඩියක්, රෝස් කුකුලෙක් සහ බිර බෝතල් කීපයකි.

                 මුහුදු රළ කපාගෙන හමා එන සුළගේ අමුතු උණුසුමක් ඇත. යෝධ රන් තලියක හැඩය ගත් බැසයන හිරුගේ රක්ත වර්ණ රශ්මිය වරායේ ඇත පසෙකින් වූ සෙමින් පැද්දෙන යාත්‍රා මත වැදී පරාවර්තනය වීමෙන් අමුතු දර්ශනයක් මැවීපෙනේ. උඩු සුළඟට පොර බදමින් ඉහල අහසේ වේගයෙන් එහා මෙහා පියඹන මුහුදු ලිහිණින් පරිසරයට එක් කොට අත්තේ අමුතුම වූ සුන්දරත්වයකි. ඇත මුහුදේ ඉබි ගමනින්  දියඹ කරා ඇදී යන යෝධ නෞකා වලින් මතුවන නලා හඬ විටින් විට ඇසෙයි.
                 මාගේ මතකයේ හැටියට එය මෙල්බනය ගතවූ එක් සුන්දරම සන්ධ්‍යාවක් විය. ක්‍රිකට්, ගැහැණු  ළමයි, පාසල්  කාලයේ විනෝදජනක සිදුවීම් ආදිය ගැන කතා කරමින්, ලංකාවේ තාලයට පාන් සහ මස් කා  බිර බෝතලයක් බී ලැබූ තෘප්තිය මෙල්බනයේ  තරු පහේ හෝටලයක ඉස්තරම් කෑම වේලකින් ගත නොහැක. රේස් අශ්වයන් මෙන් නිරන්තර ඉලක්ක පසුපස හඹා යන අප හට කවදා හෝ ආපසු හැරී ජීවිතය දෙස බලන කල මෙනෙහි කොට සතුටු වන්නට ඉතිරි වනු ඇත්තේ මෙවන් මතකයන් කීපයක් පමණක්ම වනු ඇත...

           

             
 
sinhalaya sindiya