test

Powered by Blogger.

7 February 2013

෴..මෙල්බනයේ විත්ති..෴ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ බිහිසුණුම ලැව් ගින්න.

Labertouche ප්‍රදේශයට ගින්න ඇතුළු වූ අයුරු.

http://www.blacksaturdaybushfires.com.au/wp-content/uploads/2012/10/Black-Saturday-Bushfire.jpg

                   වසර 2009 පෙබරවාරි මස 7 වැනිදා යනු මා හට අමතක නොවන දිනයකි. ජිවිත සිය ගණනක් බිලි ගත් ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව් ගින්න වික්ටෝරියාවේ උතුරු ප්‍රදේශ වසා පැතිර ගියේ එය ලෝක ඉතිහාසයේ අටවැන්නට දරුණුම ලැව් ගින්න ලෙස ඉතිහාස පොතට එකතු වෙමිනි. සිදුවූ විනාශය සුළුපටු නොවීය. වර්ග කිලෝමීටර 4000 කට අධික ප්‍රදේශයක් අඟුරු බවට පත් කරමින් හඹා ගිය ගින්නේ දුමාරය නවසීලන්ත වෙරළ සීමාව දක්වා ඇදී ගියේය. පහතින් සටහන් වන්නේ අදින් හරියටම අවුරුදු හතරකට පෙර සිදුවූ එම අඳුරු සිද්ධි සමුදායේ මතකාවර්ජනයකි. 
                  මාස ගණනාවක් තිස්සේ ඇදී යමින් තිබූ නියඟය ලෝකයේ ලැව් ගිනි බහුලතම ප්‍රදේශයක් වූ වික්ටෝරියාවට භයානක අනතුරක පෙරනිමිති කියාපෑවේය. තත්වය හදිස්සියේම දරුණු අතට පත් කරමින් වික්ටෝරියානු ප්‍රාන්තය හරහා හමායන්නට නියමිතව තිබු දින තුනක උණුසුම් වායු ධාරාව පිළිබඳව කාලගුණ අනාවැකි පළවන්නට විය. ඒ වන විට වික්ටෝරියාවට පැමිණ යන්තමින් මාස කීපයක් ගතවී තිබුණු බැවින් පළවූ  අනාවැකි එතරම් සැලකිල්ලට නොගත්තද පැවති අධික උෂ්ණත්වය යම් අනතුරකට මුළපුරන බව මා අවබෝධ කොටගෙන තිබුණි. පෙබරවාරි 4,5,6 දින තුන තුල වික්ටෝරියානු ප්‍රාන්තය තුල පෙර නොවූ විරූ ආකාරයේ අධික උෂ්ණත්වයක් සටහන් වන්නට විය. කාමරය තුල වායු සමීකරණයක් නොවුයෙන් රාත්‍රිය ගෙවුනේ මුළුමනින්ම පහේ නිදිවර්ජිතවය. හදිසි ලැව් ගින්නක් ඇති වුවහොත් එයට සුදානම් විය යුතු යයි සඳහන් කරමින් රූපවාහිනියෙන් නිරන්තරයෙන් පුවත් ඵල  විය. 


ගින්න මෙල්බන් නගරය පෙනෙන නොපෙනෙන මානයට පැමිණ තිබු අයුරු
http://resources2.news.com.au/images/2011/02/06/1226001/088674-black-saturday.jpg

             දිනය පෙබරවාරි මස 7 වැනිදායි. සති අන්තයේ සේවය කල ආපන ශාලාවට යාමට ලහි ලහියේ සුදානම්  වෙමින් සිටි මා හට රුපවාහිනියේ තොරතෝංචියක් නැතිව විකාශනය වන ප්‍රවෘත්ති තුලින් ලැව් ගින්නකට සුදානම් වන ලෙස සඳහන් කෙරුණු ප්‍රවෘත්තිය අද මෙන් මතකයට නැගේ. රුපවාහිනී තිරයේ පෙනීසිටියේ වික්ටෝරියානු අග්‍රාමාත්‍ය  John Brumby මහතායි . ඔහු එදින කිසිදිනක නොවූ අයුරින් අනතුරු  හැඟවීමක් කළේය. ඔහුගේම වචනයෙන් "It's just as bad a day as you can imagine and on top of that the state is just tinder-dry. People need to exercise real common sense" ලෙස ලෙස සඳහන් කල ඔහු තව දුරටත්  මෙය වික්ටෝරියානු ප්‍රාන්ත ඉතිහාසයේ භයානකම දිනය"worst day in the history of the state" ලෙස  අනතුරු ඇඟවිය. දරුණු ලැව් ගින්නක අනාවැකි පළ කල නිලධාරීන් හදිසි තත්වයකට මුහුණ දීම සඳහා 3500 කට අධික ගිනි නිවන බට පිරිසක් ප්‍රාන්තය පුරා යොදවා තිබිණි. මිට අමතරව ප්‍රාන්තය පුරා ගිනි දැල්වීම් සම්පුර්ණයෙන් තහනම් කොට තිබුණි (Total fire ban).
           මා සේවය කල ආපන ශාලාවේ ඇතුලත උෂ්ණත්වය ඉවසාගත නොහැකි තරමට ඉහල ගොස් තිබුණි. වෙලාව දහවල් දොළහට පමණ විය. මේ වන විට අප සියල්ලන්ම නොදත් දෙයක් කිලෝමීටර හැටක් පමණ උතුරු දෙසට වන්නට සිදු වෙමින් තිබුණි. Kinglake ප්‍රදේශය අශ්‍රිතව තැනින් තැන හුදකලා ලැව් ගිනි ඇති වෙමින් තිබුණි. මේ වන විට පරිසර උශ්නත්වයද වික්ටෝරියානු නගරයක වාර්තා වූ ඉහලම උෂ්ණත්වය අභිබවා ගොස් තිබුණි. පැය කීපයක් ඇතුලත Black Saturday නමින් පසුව හඳුන්වන්නට යෙදුනු බිහිසුණු ලැව් ගින්නේ අරම්භය සටහන් කරමින් Kilmore East ප්‍රදේශයේ අධික උනුසුම නිසා පහතට කඩාහැලුණු  විදුලි රැහැන් එකිනෙක ඇතිල්ලීම නිසා විදුලි පුලිඟු පිටවන්නට  විය. 



Marysville ප්‍රදේශය ගින්නට හසුවී තිබූ අයුරු 
http://www.abc.net.au/reslib/200902/r337418_1531022.jpg
              
         එතැන් සිට සිදුවූ  සිදුවීම් සමුදාය එසැනින්ම මාධ්‍යයට වාර්තා නොවූ අතර පසුව හෙළි වුයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාවට කිසිම අනතුරු හැඟවීමක් නොලැබුණු බවය. Kilmore ප්‍රදේශයේ ඇතිවූ ගින්න නිමේෂයකින් ගිනි ප්‍රකාරයක් බවට පත් විය. තැනින් තැන ඇතිවූ හුදකලා ලැව්ගිනි එකට එක් වෙමින් අධික වේගයෙන් ගින්න ඇදී  එන්නට විය. පැයට කිලෝමීටර 120 කට අධික වේගයෙන් හැමූ සුළඟින් වේගවත් වූ ගිනි ජාලාව ඇතැම් ස්ථාන වලදී තත්පර 30ක් තුල මීටර 300 ක වේගයෙන් ඇදී ආ බව පසුව පැවසුනි.



ගින්නෙන් විනාශ වූ Marysville ප්‍රදේශය
http://images.theage.com.au/2012/08/07/3533814/marysville-bushfire-620x349.jpg

              සිදුවූ හානිය සුළුපටු නොවීය. වික්ටෝරියානු වැසියන් 173 දෙනෙකු ගින්නට හසුවී මියගිය අතර 400 කට අධික ප්‍රමාණයක් පිළිස්සුම් තුවාල ලදහ. ඒ අතරට විදේශිකයන්ද ඇතුලත් විය. මෙල්බන් සරසවියේ ආචාර්ය වරුන්ගේ ගණන් බැලීම් වලට අනුව ඇතැම් ස්ථාන වලදී ගින්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200 ඉක්මවා ගොස් තිබුණු අතර මියගිය බොහෝ දෙනෙකුගේ නෂ්ටාවශේෂ අඳුනාගත නොහැකි අයුරින් අළු දුලි බවට පත් වී තිබුණි.  Black Saturday ලැව් ගින්නේ තිබු උච්චත්වය නිසාම  මෙල්බනයේ එතෙක් ලැව් ගිනි සඳහා සුදානම් වීමට පැනවුණු රීතිය වන "නැවතී සටන් කරන්න නැතිනම් කල් ඇතිව පිටවන්න" (Stay and fight or leave early ) යන්නෙහි වලංගුතාවය පිලිබඳ ගැටළු මතු විය. මෙයට හේතු වුයේ ගින්නෙන් දේපල ආරක්ෂා කරගැනීම සඳහා නැවතුනු බොහෝ දෙනෙක් අසරණ ලෙස පිලිස්සී මියගොස් තිබු බැවිනි 
                පසුගිය වසරෙහි මා හට Black Saturday ලැව් ගින්නෙන් දරුණුම හානි සිදුවූ Kinglake ප්‍රදේශයේ සංචාරයක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණි. ගින්න ඇතිවී අවුරුදු තුනක් ඉක්ම ගොස් තිබුනද ගස්වැල් වල පිලිස්සී ගිය කඳන් වල සලකුණු තවමත් දක්නට ලැබේ. ප්‍රදේශයේ බොහොමයක් ගොඩනැගිලි නැවත ප්‍රතිස්ථාපනය කොට තිබුනද එහි වෙසෙන්නන්ගෙන් බොහොමයක් දෙනා නැවත නොඑන්නට ගම බිම් හැරදා පිටව ගොස්ය. පහතින් දැක්වෙන්නේ එහිදී මා ලබාගත් චායාරුප කීපයකි.






15 comments:

  1. එක් වරක් මේ වගේ දරුණු ලැව්ගින්නක් හන්දා ගෙදරඉන් එලියට යන්ට ලෑස්ති වෙලා හිටපු හැටි මට තාමත් මතකයි. කාරෙකේ දාගෙන තිබුනේ මුදල්, පාස්-පොර්ට් සහ ඇල්බම් කීපයක් විතරයි. වටිනවා කියලා එකතු කරපු අනෙක් කිසිම දෙයක් ගෙනියන්ට හිතුනෙත්, හිතුවෙත් නෑ. හොඳ වෙලාවට ගින්න ගෙවල් ලඟටම ආවේ නැත්තේ. ඒත් ඒ අත්දැකීම අදටත් තියනවා. දැනෙනවා.

    ඒ එක්කම, මේ රටේ මිනිස්සු හැම කෙනෙක්ම තමන්ට විපතක් උනා වගේ ක්‍රියා කරපු හැටි මතක් වෙනවා.

    ReplyDelete
  2. මට නම් evacuate වෙන්න තරම් අත්දැකීමක් තවම ලැබිල නැහැ. පොඩ්ඩිට පුලුවන්නම් ඒ ගැන ලියන්න.තමන්ට අයිති හැම දෙයක්ම අතැරලා දාල ජීවිතය වෙනුවෙන් පලායනවා කියන්නේ හරිම හැඟීම්බර දෙයක්. ලැව්ගිනි වගේම ගංවතුර බහුල ප්‍රදේශ වල මිනිසුන් ලොකු අවදානමක් එක්ක ජිවත් වෙන හැටි දැක්කම ලංකාවේ අපේ අය කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.

    ReplyDelete
  3. ලියලා තියෙන විදියට කියවද්දිත් බය හිතෙනවා.ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද!එත් මේ රටෙත් කාලකන්නින් කැලෑ ගිනිතියනවා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කැලැ ගිනි තියන නකල්ස් කඳු වැටියේ මුවාවේ තියෙන ගම්මාන කිහිපයක මා දින කිහිපයක් සංචාරය කළෙමි. ඒ මිනිසුන් කැලැ ගිනි තියන්නේ ඇයි කියා දැන ගන්නට ඔබත් එහි යා යුතු යැයි හැඟුනා කියලා තියෙන කතාව දැක්කහම. මාත් කැලැ ගිනි තියනවාට විරුද්ධව කතා කරත් ඒ වෙලාවේ... ඒත් කතා බහ ඉවර වෙද්දි ඒ මිනිස්සු බඩේ ගින්දර එක්ක කරන හටන එක්ක කැලැ ගිනි තැබිම කියන්නේ දෙපැත්ත කැපෙන සිද්ධියක් කියලා මං තේරුම් ගත්තා.

      බඩගින්දරේ අඩන පොඩි එකෙක්ගේ අදොනාව අහන් ඉන්න බැරි තාත්තෙක් කොච්චර එපා කිව්වත් දන්න එකම කරුමාන්තේ කොරන්න ගිනි කූරක් නොගහා ඉදිද?

      Delete
    2. @ නිශාන්,,ස්වභාවික විපත් අඩු ලංකාව ඇත්තටම පුදුම වාසනාවන්ත රටක්. ඒ අගය තේරෙන්නේ නැති කීප දෙනෙක් නිසා තමයි අපේ රට මේ අද තියෙන තත්වයට වැටිලා තියෙන්නේ.:)

      Delete
    3. @PM,, ලංකාවේ කැලෑ ගිනි තියන්නේ සත්තු දඩයම් කරන මිනිස්සු කියල මමත් අහල තියෙනව.ඔය කියන්නේ එහෙම අයද නැත්නම් ගොවිතැන් කරන්න හේන් එලි කරන අයද? එයාලගේ පැත්තෙන් බලද්දී එක සාධාරණ වෙන්නත් පුළුවන්. එත් කැලැවට වෙන විනාශය බලපුවම නම් ඒක ජාතික අපරාධයක්.
      ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලටත් මුලික හේතුව ගිනි තැබීම. හැබැයි මෙහෙ මිනිස්සු නම් ගිනි තියන්නේ බගින්නට නෙවෙයි, නිකන් ඉන්න බැරි කමට :D මම ලඟදි ලිපියක් කියෙවුවා මිනිස්සු කැලා ගිනි තියන එකට හේතුව පැහැදිලි කරන. ඔයත් කියවල බලන්න.http://www.heraldsun.com.au/opinion/the-twisted-hand-of-man/story-e6frfifo-1111118792894 මේකේ පැහැදිලි කරන හැටියට කැලෑ ගිනි තියන බොහෝ දෙනෙක් මානසික ප්‍රශ්න වලින් පෙලෙන අයලු.

      Delete
  4. මෙල්බර්න් කියන්නෙත් සුර පුරයක් නෙමෙයි බලන් යනකොට

    ReplyDelete
    Replies
    1. මෙල්බන් වල ලස්සන දේවලුත් තියෙනවා. හැම summer එකටම වගේ ඇතිවෙන ලැව් ගිනි නම් Victoria වලට ලොකු කරදරයක්. දවසක ලියන්නම් Great Ocean Road එක ගැන ලිපියක්. විදුල නම් ගිහිල්ලත් ඇති. හරිම ලස්සන තැනක්. :D

      Delete
  5. ඔස්ට්‍රෙලියාවේ අපදා වැඩි වෙන්න බලපාන එල් නිනා වගේ තත්ත්ව කියලා මං පොත පතින් කියවලා තියෙනවා.මේ ලිපියෙන් ලැව් ගිනි ගැන ඒ විපත් අවස්ථාවට මුහුණ දෙන අය හිතන හැටි යන්තමින් හෝ දැන ගත්තා.

    අර මහ ගංවතුර ගැනත් මතකයක් ඇති ඔබට. ඒ ගැනත් වෙලාවක ලියන්න

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල ඔය එල්නිනා ගැන කතා බහක් තිබ්බ මතකද? මෙහෙ පරිසර උෂ්ණත්වය වෙනස් වෙන හැටි හරිම පුදුමයි. දවස් ගානක් 30 /35 ට තිබිල එක පාරටම පැයක් දෙකක් ඇතුලත 20 ට විතර අඩු වෙනවා. පුදුමේ කියන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවෙනුත් හරියටම කියනවා උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නේ මොන වෙලාවටද කියල.
      ගංවතුර නම් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ QLD, NSW වගේ ප්‍රාන්ත වල. වික්ටෝරියාවට ගංවතුරෙන් තියෙන බලපෑම අඩුයි. ඒ නිසා ගංවතුර ගැන මට පෞද්ගලික අද්දැකීම් නම් නැහැ. එත් වෙලාවක කරුණු එකතුකරලා පුලුවක් හැටියට ලියන්නම්. :D

      Delete
  6. දාල තියෙන පින්තූර දිහා බල බල මේ විස්තරය කියවද්දි හරියට හොලිවුඩ් ෆිල්ම් එකක් බලනව වගේ දැනුනා. මේ දේවල් ගැන විස්තර කියවන අපිට එහෙම උනත් ඒ අත්දැකීමට ඇත්තටම මූණදෙන්න උන අයට ඒක කොයිතරම් භයානක වගේම දුක්බර අත්දැකීමක් වෙන්න ඇත්ද කියල හිතාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑ. ලෝකේ කාටවත්ම මේ වගේ කරදර නම් වෙන්න එපා කියලයි මම නම් ප්‍රර්ථනා කරන්නේ.

      Delete
  7. Replies
    1. සුදු මහත්තය, හොඳයි නේද ආටිකල් එක :D

      Delete